පාසලේ ඵෙතිහාසික විකාශය(කෙටියෙන්)
ර/බෙලි/ධම්මරතන මහා විද්‍යාලයේ සංක්ෂිප්ත ඉතිහාසය
ශ්‍රී ලංකාද්වීපයේ සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ තලාපිට ගම් පත්තුවේ වලවේ ගංගාව පෝෂණය කරන බෙලිහුල්ඹය නදිය ආශ්‍රිතව රමණීය පරිසරයක ක්‍රි.ව. 1886 දී පමණ යක්දෙහිවල කපුගෙදර වත්ත නම් ස්ථානයේ පිදුරු සෙවිලි කළ මඩුවක ආර/ගලගම මිශ්‍ර පාඨශාලාව නමින් විදුහලේ උපත සිදුවු බව පුරාවෘත්ත හා ලිපි ලේඛන වල සදහන් වේ. ස්ථානීය ගැටලුවක් නිසා වසරක් ඉක්ම යාමටත් පෙර මහජනයා කැමති ස්ථානයකට ගෙනවිත් ඇති මෙම මිශ්‍ර පාඨශාලාව එක් ගුරු භවතෙකු යටතේ ක්‍රි.ව. 1890 දක්වා පවත්වා ගෙන ආ අතර ඒ වන විට සිසුන් 21 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 50 දක්වා වර්ධනය වී තිබූ බව සදහන් වේ.
එම යුගයේ මෙම විදුහලේ සේවය කළ ගුරු මණ්ඩලයේ නම් ගම් කිසිවක් කිසිවෙකු නොදන්නා අතර ලොකු මහත්තයා දෙවනි මහත්තයා වැනි පදවි නාම වලින් ඔවුන් හදුන්වා ඇත. කෙසේ වුවද ආරම්භයේ සිට වසර 20ක් ගත වන තුරු විදුහලේ ගොඩනැගිලි වල හෝ ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නැත.
එහෙත් ක්‍රි.ව. 1910 දී මෙතෙක් පැවති මෙම කුඩා මඩුවට ගම් වැසියන් විසින් වරිච්චි බිත්තියෙන් තැනූ කාමර 2ක් එකතු කර, ගෙබිම ගොම මැටි ගා අලංකාර කළ බව කියවේ. 1920 වන තුරු ගුරු මණ්ඩලයේ ගුරු සංඛ්‍යාව වූයේ දෙදෙනෙක් පමණි.
ඒ අතර 1920-1960 අතර කාලයේදී එතෙක් පවත්වා ගෙන ආ සියලුම ලිපි ලේඛන නිවාඩු ලේඛන දමා තිබූ අල්මාරිය සම්පූර්ණයෙන්ම වේයන් විසින් විනාශ කර දමා තුඹසක් බැද තිබීම හේකුවෙන් අදාල කාල පරාසය පිළිබද කිසිදු තොරතුරක් විදුහල සතු නොවීය.
මේ පිළිබද විමසිලිමත් වූ මෙම විදුහලේ ශිෂ්‍යෙයකුව සිට පසුව එනම් ක්‍රි.ව. 1990.02.20 දින විදුහල්පති ලෙස මෙම විදුහලට පත් වූ ප.මු. ධර්මප්‍රිය වික්‍රමනායක මහතා රත්නපුර පිහිටි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයේ තිබූ ලිපි ලේඛන ඇසුරින් පහත සදහන් තොරතුරු සපයා ගෙන ඇත.
එනම් ක්‍රි.ව. 1935-1936 වාර්ෂික වාර්තාවන්ට අනුව මෙම විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව 103 ක් වූ අතර බෞද්ධ, හින්දු, කතෝලික, ස්ත්‍රී, පුරුෂ වශයෙන් මිශ්‍ර පාසලක් ලෙස පවත්වා ගෙන විත් ඇත. මුල් ගුරු මහතාද ඇතුලුව ගුරු මණ්ඩලයේ සංඛ්‍යාව තිදෙනෙකු වූ අතර, මුල් ගුරුතුමා ලෙස මාර්කු (MARKU) අප්පුහාමි මහතා කටයුතු කර ඇත. බී.සී. සීලවතී නෝනා මහත්මිය හා ඩී.පී.වික්‍රමසිංහ මහතා සෙසු ගුරු භවතුන් ලෙස කටයුතු කර ඇත.
කෙසේ වෙතත් 1951 වන විට මෙම පාසලට රජය විසින් ගොඩනැගිල්ලක් ඉදිකර දුන් අතර අදටත් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා පන්ති පවක්වන ඉහල ඇති අබලන් වී ගිය ප්‍රධාන ගොඩනැගිල්ල ගරා නොවැටී ආරක්ෂා කර ගන්නේ දෙමාපිය ශ්‍රමයෙන් අලුත් වැඩියා කර ගැනීමෙනි.
කෙසේ නමුත් ක්‍රි.ව. 1988-1902 අතර කාල පරිච්ජේදයේදී විදුහල ලද අවාසනාවන්ත අත්දැකීම් ඔස්සේ ගුරු පියෙකු ඝාතනය වීමෙන් විපිලිසරභාවයට පත් වූ එවකට පැවති රජය විසින් තරුණ අසහන කමිටු නිර්දේශය අනුව මෙම විදුහලට දෙමහල් ගොඩනැගිල්ලක් ධර්මප්‍රිය වික්‍රමනායක විදුහල්පතිවරයාගේ සමයේ ලබා දුන් අතර එය ක්‍රි.ව. 1993.09.16 දින එවකට අධ්‍යාපන ඇමතිව සිටි ගරු රනිල් විකුමසිංහ මැතිතුමා විසින් විවෘත කර ඇත. මෙම කාලයේදී විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව 456 ක් විය.
මෙම විදුහලේ උසස් පෙල පන්තිය ආරම්භ කරන ලද්දේ 1991 දී වන අතර, මේ වන විට විවිධ තරාතිරම් වලට අයත් වෛද්‍ය, ඉංජිනේරු, විදුහල්පති, පරිපාලන නිලධාරීන් ව්‍යාපාරිකයන් රැසක් හා ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධරුවන් දැයට එක්කර ඇති අතර, අ:පො:ස: උසස් පෙල ප්‍රතිඵල හරහා 2003/2004 වර්ෂ වලදී ශ්‍රී ලංකා නීති පීඨයට සිසුවියන් තිදෙනෙතු යැවීමට සමත් වූ අතර 2003 වර්ෂයේ පේරාදෙනිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලුව මේ වන විට සිසු සිසුවියන් 16 දෙනෙකු සරසවි අධ්‍යාපනයට ඇතුල් කර ඇත.
2003-2008 දක්වා මෙම විදුහලේ විදුහල්පති ධූරය දැරූ ඩබ්.එම්.පී.විජේසුන්දර මහතා විසින් මධ්‍යම රජයෙන් පරිගණක විද්‍යාගාරයක්, හා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් ලබා ගනිමින් නවීන තාක්ෂණික ලෝකයට ගැලපෙන නිර්මාණශීලී දරු පරපුරක් අධ්‍යාපන නවීකරණය මගින් බිහි කිරීමට දායක වී ඇත.
2009 වර්ෂයේ ර/ගලගම මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත් එච්.වී.ප්‍රේමසිරි ඩයස් මහතාට විද්‍යාලයේ ඉදිරි ගමන වෙනුවෙන් මෙතෙක් නොවිසදුනු ගැටළු රාශියක් නිරාකරණය කර ගැනීමේ අභියෝගයකට මුහුණ දීමට සිදු විය. ඉන් ප්‍රධානතම ගැටළුව වූයේ පරිහරණයට නුසුදුසු තත්වයේ පවතින අවුරුදු 125කටත් වඩා පැරණි ගරා වැටෙමින් පවතින වරිච්චි බිත්ති සහිත පාසලේ ප්‍රධාන ගොඩනැගිලි දෙක වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ලබා ගැනීමය.
ඒ අනුව විදුහල්පතිතුමාගේ අනුපමේය වූ කැපවීම මත කාලයක පටන් නොවිසදුනු ගැටළුවක් බවට පත්ව තිබූ අබලන්ව පැවති ගොඩනැගිලි දෙකෙන් , එකක් වූ පහළ ප්‍රධාන ගොඩනැගිල්ල ඉවත් කර නව ගොඩනැගිල්ලක් ලබා දීම සදහා “මහින්ද චින්තන” වැඩසටහන යටතේ සබරගමුව පළාතේ ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වය යටතේ ගරු අධ්‍යාපන අමාත්‍ය භාණු මුණිප්රිය මැතිතුමාගේ මූලිකත්වයෙන් හැකියාව ලැබිණ. නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත සම්මණ්ත්‍රණ ශාලාවක් සහිත දෙමහල් ගොඩනැගිල්ල සදහා 2014.01.23 දින මුල්ගල තැබූ අතර එහි මූලික අදියරේ සම්මණ්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම නිම කර 2015.03.31 දින විවෘත කර සිසු අයිතියට ලබා දෙන ලදි.
අප පාසලට තවත් වැදගත් අවස්ථාවක් උදා විය. එනම් මෙතෙක් මෙම විදුහල භාවිතා කළ ර/ගලගම මහා විද්‍යාලය යන නම වෙනස් කරමින් ඒ වෙනුවට ර/බෙලිහුල්ඹය ධම්මරතන මහා විද්‍යාලය ලෙස 2012.05.12 දින සිට භාවිතයට ගැනීමයි.
එමෙන්ම 2012 වර්ෂයේදී “පාසල නගා සිටුවීමේ වැඩසටහන” යටතේ ලෝකඩ පදක්කමක් අප විද්‍යාලයට හිමි විය.
එපමණක් නොව විෂය සමගාමී ක්‍රියාකාරකම් යටතේ 2015 වර්ෂයේ සමස්ත ලංකා පාසල් නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලියේදී පළාත් දෙවන ස්ථානයද, සමස්ථ ලංකාපාසල් නාට්‍ය තරගය-2016 වර්ෂයේදී තෙවන ස්ථානයද හිමි කර ගැනීමට අප විද්‍යාලය සමත් වී ඇත. එමෙන්ම 2015 වර්ෂයේ සමස්ථ ලංකා සාහිත්‍ය හා නාට්‍ය තරගාවලියේදී (ප්‍රාථමික ඒකල ගායනය) පළාත් තුන් වන ස්ථානයද හිමි විය.
අප පාසලට ඉතා වැදගත් අවස්ථාවක් උදා විය. එනම් සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය මගින් පවත්වනු ලැබූ 2015 වර්ෂයේ ව්‍යවසායකත්ව දිනය වෙනුවෙන් අපේ සිසුන් හට නව නිපැයුම් නිර්මාණ තරගාවලියකට සහභාගි වීමට අවස්ථාව ලැබීමයි. ඉන් අප විද්‍යාලයේ සිසුන් හට සහතික පත්‍ර හා කුසලතා සම්මාන හිමි විය. ඉඹුල්පේ අධ්‍යාපන කොට්ඨාශය තුළින් මෙවැනි අවස්ථාවක් උදා කර ගත් එකම විද්‍යාලය අප පාසලයි.
ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය යන නාමය දිවයින පුරා රැව්පිලිරැව් දීමට දිනක් අප පාසලට උදා විය. එනම් “2016 සූවැස සෞඛ්‍ය අධ්‍යාපන සේවය ”(පාසල් වැඩසටහන) යන ගුවන් විදුලි වැඩසටහනට සහභාගි වීමට අප විද්‍යාලයටද අවස්ථාවක් හිමි වීමයි. අපේ දරුදැරියන් පැය ½ ක ගුවන් කාලයක් තුළ වැඩසටහන මෙහෙය විය. මේ සදහා බලන්ගොඩ මූලික රෝහල සහතික පත්‍රද පිරිනමන ලදි. මෙය අප විද්‍යාලය ලද විශාල භාග්‍යයකි
මෑත ඉතිහාසය තුළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභහගයෙන් එකදු ශිෂ්යෙයක්වත් සමත් නොවුවද 2010 වර්ෂයේ සිට ක්‍රමයෙන් සෑම වර්ෂයකම සිසුන් දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් විභාගය සමත් වීමේ ප්‍රවණතාවයක් වැඩෙමින් පවතී. ඒ අනුව 2017 සහ 2018 ,2019 වසර වලදී පිළිවෙලින් ළමුන් 4,1 සහ 4 දෙනෙකු බැගින් සමත්ව ඇත.
මේ වන විට කිසිම ව්‍යාපෘතියකට අයත් නොවූ අප පාසල නව අධ්‍යාපන වැඩසටහන් යටතේ “ලගම පාසල හොදම පාසල”යන සංකල්පය යටතේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම සදහා අප විද්‍යාලය තෝරා ගෙන ඇත. ඒ අනුව ප්‍රාථමික ක්‍රියාකාරකම් ඒකකයක් සහිත (90*25) දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීමට හැකි විය. එමෙන්ම සිසු අයිතියට පත් කළ ප්‍රධාන සම්මන්තණ ශාලාවේ දෙවන මහලෙහි වැඩ කටයුතු නිම කර සිසු අයිතියට පවරා ඇතමෙලෙස අප විද්‍යාලය මුහුණ දුන් අභියෝග රැසකට විසදුම් ලෙස මෙවැනි ජයග්‍රහණ සදහන් කළ හැකිය.
2020 ජනවාරි 22 දින සිට මෙම පාසලේම ආදි ශිෂ්‍ය යෙකු වන පී.එම්.නිහාල් බණ්ඩාර මහතා පාසලේ විදුහල්පතිවරයා වශයෙන් පත්වූ අතර පාසලේ ඉදිරි දියුණුව වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරගෙන යමින් සිටියි. නමුත් අවාසනාවන්ත ලෙස Covid 19 වසංගත තත්ත්වය නිසා පාසල 2020.03.13 සිට මාස 4ක්, නැවතත් 2020.09.01 සිට පාසල් නිවාඩු ලබා දීම හේතුවෙන් පාසලේ කටයුතු අකර්මණ්‍ය විය.
2.2 වර්තමාන තත්ත්වය - සිසුන් 312ක් සිටින අතර අ.පො.ස.(උසස් පෙළ) කලා වාණිජ ධාරාවන්ද පැවැත්වේ. විදුහල්පති හා සහකාර විදුහල්පතිවරු දෙදෙනෙකුද ඇතුළුව අධ්‍යයන අනධ්‍යන නාර්ය මණ්ඩලය 28 කි. ඉන් අනියුක්ත ගුරුභවතුන් 02 කි.
2021 වර්ෂයේදී අපේල් 28 දින සිට රට තුළ නැවත උත්සන්න වූ Covid වසංගත තත්වය නිසා මාස 06කට ආසන්න කාලයක් පාසල් නිවාඩු ලබා දීමට රජය තීරණය කෙරිණි. කෙසේ වුවද විවිධ බාධක මැද දරුවන්ගේ අධ්‍යාපනකටයුතු සපුරා දීම සදහා දුරස්ථ ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන ලදි.
විදුහලේ මහත් අඩුපාඩුවක්ව පැවති පරිගණක ඒකකය සදහා පරිගණක 10ක් පරිත්‍යාග වශයෙන් ලබා ගැනීම හා ප්‍රාථමික සිසුන් සදහා වැසිකිලියක් අලුතින් ඉදි කිරීමට කටයුතු කරන ලදි.